hgh

Music.lk දැනට දින කිහිපයකට පෙර ද්වී භාෂා මුහුණුවරකට මාරැ වන ලදී. මෙතෙක් අප ඔබ වෙත පැමිණෙන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල ගීත ඉංග්‍රීසි භාෂාවෙන් පළ කිරීම පිළිබඳව බොහෝ කලක සිට ගැටළු රුසක් පැන නැගී තිබුණු බැවින් ‍අපගේ වෙබ් අඩවිය සිංහලට පරිවර්තනය කිරීමට අදහසක් අප සිත් වලට පැමැණුනේ දැනට වසරකට පමණ පෙරාතුවයි. නමුත් එය ක්‍රියාවට නැංවීමටත් යම් යම් බාධා නොතිබුණාම නොවෙයි. ඒවා කිහිපයක් මම පහත සඳහන් කරමි. කෙසේ වුවද එම අභියෝගය සාර්ථකව ජයගන්නට හැකියාව ලැබුණි. මෙම අවස්ථාවේදී අප විසින් නිකුත් කර තිබෙන සංස්කරණයේ යම් යම් වැරදි හා අඩුපාඩු තිබිය හැකිය. ඒවා නිවැරදි කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. එබැවින් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටීමට කැමැත්තෙමි. සමහර පිටු තවමත් සිංහලට පරිවර්තනය කිරීමේ කටයුතු කරගෙන යන අතර බොහොමයක් පිටු මේ වන විට පරිවර්තනය කිරීම සම්පූර්ණ කර ඇත.

තවද ගීතමය වෙබ් අඩවියක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සිදුවූයේ ශ්‍රී ලංකාවේ මුල් වරට බවත් සතුටින් දන්වා සිටිමු. වසර 4 ක් ඇතුළත අපව ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය බවට පත් කිරීම සම්බන්ධයෙන් යළිත් වරක් අපගේ පරිශීලකයන්ට හෘදයාංගම ස්තුතිය පළකරමු. එසේම ඔබ සැම අප සමඟ තවත් ඉදිරියට රුඳී සිටිනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Music.lk | Sinhala

-
මෙතැන් සිට www.si.music.lk අපගේ සිංහල සංස්කරණයේ සෘජු ලිපිනය වනු ඇත.
තවද www.music.lk/sinhala/ ලිපිනයෙන් යුනිකෝඩ් සඳහා නවකයෙකුට අපගේ සිංහල සංස්කරණය වෙත පිවිසිය හැකිය.

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර nuwan@nuwan.info ලිපිනය වෙත යොමු කරන්න.

ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වාගෙන යාමේ ගැටළු
1. සිංහල කලාකරුවන්ගේ සමහර නම් ඉංග්‍රීසි භාෂාවෙන් පළ කිරීමේදී කියවීමේදී ඇති වන ගැටළු.
2. ගීතවල නාම සහ කලාකරැවන්ගේ නාම විකෘති වීම් නිසා ඇතිවන ගැටළු.
3. ගීත සෙවීමේදී සමහරක් නාමයන් යතුරුලියනය වන ආකාර කිහිපයක් පැවතීම.
4. ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුම අඩු කෙනෙක් මෙය භාවිතයේදී තේරුම් ගැනීම සම්බන්ධ ගැටළු
5. සිංහල ගීත ඉංග්‍රීසි භාෂාවෙන් පළ කිරීම පිළිබඳව විද්වතුන්ගෙන් එල්ලවූ දෝෂාරෝපණ.

සිංහල භාෂාවට ප‍රිවර්තනයේදී ඇතිවූ ගැටළු
1. සිංහල යුනිකෝඩ් භාවිතය ගැන පරිශීලකයන්ගේ ඇති අල්ප වූ දැනීම.
2. යුනිකෝඩ් භාවිතා නොකළ පරිශීලකයන් සඳහා වෙනමම වූ උදව් කිරීමට වෙන්වූ පිටු සෑදීමට සිදුවීම.
3. මෙතෙක් කලක් ඉංග්‍රීසි භාෂාවෙන් තිබූදේ සාර්ථකට පරිවර්ථනය කිරීමේදී ගතවන කාලය
4. සිංහල භාෂාවට පරිවර්තනය කළ නොහැකි නාම සහ යෙදුම් හමු වීම.
5. සිංහල භාෂාව සඳහා වෙනමම සෙවීම් හා සමහර පිටු මුල සිට සකස් කිරීමට සිදු වීම.
6. විවිධ වෙබ් ගවේශක මෘදුකාංග වල ගැලපීමේ ගැටළු.
7. මෙහෙයුම් පද්ධති අතර ගැටළු.
8. ගීතවල රූපරාමු ඇතුළත් බැනර යළිත් සකස් කිරීමට සිදු වීම.

මෙම කාර්යය තව තවත් සාර්ථකව කරගෙන යාම සඳහා ඔබගේ සහයෝගය හා අදහස් ස්තුති පූර්වකව බලාපොරොත්තු වෙමු. තව තවත් නවතම අංග බොහොමයක් එළිදැක්වීමට කටයුතු කරගෙන යන අතර එතෙක් අප සමඟ රුඳී සිටීමට ආරාධනය කරමු.


Nuwan on August 31st, 2009

මෙම ලිපිය කිසිදු පුද්ගලයෙක්, දේශපාලන පක්ෂයක් හෝ කිසිදු ආයතනයක් සම්බන්ධයෙන් නොවන අතර මාගේ පුද්ගලික අදහස් පමණි.

පළාත් සභා මැතිවරණයක හෝ වෙනත් ඕනෑම මැතිවරණයකට පෙර අපේක්ෂකයන්ගේ කාර්යය විය යුත්තේ දායකයන් හට තමාගේ පතිපත්ති මාලාව හෝ තමාගේ ඉදිරි අරමුණු ඡන්ද දායකයන් හට දැන්වීම හා මෙතෙක් තමන් විසින් සිදු කරනු ලැබූ කටයුතු හුවා දැක්වීම වේ. මෙහිදී අපේක්ෂකයන්ගේ හා ඔවුන්ගේ අනුගාමිකයන්ගේ විහිළු හා අනග රැගූම් දායකයන් විසින් බලාපොරොත්තු නොවේ. තවද පොදු හෝ පුද්ගලික දේපල විනාශ කිරීමක් හෝ අපිරිසිදු කිරීමක් හෝ අයථා ලෙස පාවිච්චි කිරීමක් බලාපොරොත්තු නොවිය යුතුය.

නමුත් අප රටේ තත්වය සැලකීමේදී අපට මෙවන් උසස් අන්දමේ මැතිවරණයක් බලාපොරොත්තු නොවිය හැකි අතර අඩුම තරමින් මැතිවරණයකට පෙර සීලාචාර ලෙස හැසිරීමක් හෝ බලාපොරොත්තු විය යුතුය.

පසුගිය දිනවල දකුණු පළාත් සභා මැතිවරණයේ නාමයෝජනා භාර දීම සිදු කරනු ලැබූ දින ගාල්ල පදේශයේ වෙසෙන මාගේ අත්දැකීම් ඉතාමත් පිළිකුල් ජනක හා ජුගුප්සා සහගත තත්වයක වූ බව කණගාටුවෙන් වුවත් පැවසිය යුතුය.ඒවා මෙසේ සදහන් කරනු කැමැත්තෙමි.

මුලින්ම ගාල්ල නගරය විනාශ කිරීම ඇරඹුනේ ලෝක උරැමයක් වන ගාළු කොටු පවුර විනාශ කිරීමකිනි. එක්තරා අපේක්ෂකයෙක් කොටුපවුර හරහා ගාල්ල නගරයටම පෙනෙන සේ විශාල බැනරයක් එල්ලා තිබුණි. ඕනෑම තැනක බැනර් එල්ලාගැනීම ඕනෑම කෙනෙකුට කළ හැකි වුවත් කොටුපවුර වැනි තැනක ඒවා එල්ලීමෙන් ඔහු සතුව ඇති මන්ද මානසිකත්වයත් ගාලු නගරය කෙරෙහි ඇති ආදරය කොතෙක්ද කියාත් මැනවින් පැහැදිලි වුණි.

මෙම අපේක්ෂකයන් විසින් තවත් කරනු ලැබූ විකාරයක් නම් බොහෝ දුරබැහැර සිට විශාල මුදල් ගෙවා බස්රථ යොදාගනිමින් මිනිසුන් ගාලු නගරයට ගෙන්වා පෙළපාලි පැවැත්වීමයි. මෙයින් ඔවුන් බලාපොරොත්තුවූ දෙය කුමක්දැයි මම නොදනිමි. සමහර විට ඔවුන්ට එපමණ මිනිසුන් සහයෝගය දෙන්නේයැයි පෙන්වීමට විය හැකිය. එසේත් නැතිනම් එවන් බලයක් තමාට ඇතිබව පෙන්වීමට විය යුතුය. එසේත් නැතිනම් බලාපොරොත්තු වන ජනතාවක් ඔවුන්ට ගාල්ලෙන් එකතු කරගැනීමට නොහැකි බව ඔවුන්ටම පෙනී ගිය නිසා වන්නට ඇත. එකක් වත් නොවේනම් සිතිය හැක්කේ එතරම් විශාල මානසික ආබාධයක් හෝ රෝගයක් ඔවුන්ට තිබෙන්නට ඇති බවය. මක් නිසාද යත් මා හට දැනගන්නට ලැබුණු අයුරින් ගෙන්වනු ලෑබූ මිනිසුන්ට එම අපේක්ෂකයන් විසින් සෑහෙන මුදලක් ගෙවා ඇති බවය. තවද ඔවුන්ට මත්පැන් හා දහවල් ආහාරද සපයා ඇත. එම නිසා එම මිනිසුන් හට වැරැද්දක් කිව නොහැකිය. මන්ද දිනපතා යම් සුළු රැකියාවක් කර එදා වේල ගැටගසා ගන්නා මෙම අසරණ මිනිසුන්ට වාහන, කෑම බීම, මත්පැන් වැනි සියළු දේ සපයා අතට ගතමනාවක්ද සපයද්දී ඔවුන් නොඒමට හේතුවක් නොමැත. අවුල ඇත්තේ අපේක්ෂකයන්ගේ විය යුතුය.

විශාලම ගැටළුව එය නොවේ. මෙම සෙනග සමග කාන්තාවන්ද පිරිමින් ගණනටම පැමිණ ඇත. අපේක්ෂකයා කවුද යන්න මා නොදනිමි. දැනගන්නට උවමනාවක්ද නැත. ඔහු විසින් එම කාන්තාවන්ටද මත්පැන් සැපයීම නිසා දහවල් ආහාරය වේලාවේ අශෝභන සිදුවීම් රැසක් සිදුවී ඇත. ගාල්ලේ මාතර මාර්ගයේ මෑතක ඉදිකරනු ලැබූ සමුදු පියවර නම් උද්යානයක් වැනි කොටසක් වෙයි. මෙම ස්ථානයේ රැස්වූ මෙම සියගණනක් සෙනග එම ස්ථානයේ සිට ආහාර ගෙන පාර්සල් හා වෙනත් අපදුව් එම ස්ථානයේ දමා අපිරිසිදු කර ඇත. තවද මත්පැන් බී මත්වූ කාන්තාවන් එම ස්ථානයේ විස්තර කළ නොහැකි ආකාරයේ දර්ශනයක් මවා ඇත. පොලිස් නිළධාරීන් පැමිණ අවවාද කළ විට ශබ්ද විකාශන යන්ත පාවිච්චි කරමින් අපේක්ෂකයා විසින් පරැෂ වචනයෙන් ඔවුන්ට බැන වැදිමක් ගැනද මා හට දැන ගන්නට ලැබිණ.

පක්ෂය කුමක්ද පුද්ගලයා කුමක්ද යන්න මෙහිදී ගැටළුවක් නොවේ. කුමක් වුවත් අනාගතයේ තේරී පත්වන කෙනෙක් විසින් රැකිය යුතු විනයක් හා වගකීම් මාලාවක් වෙයි. ඡන්දය ලබාදෙන දායකයා අපේක්ෂකයාගෙන් මෙවන් විනයක් උදක්ම බලාපොරොත්තු වෙයි. එම බලා‍ෙප‍ාරොත්තුව වත් අඩුම තරමින් ඉටු කළ නොහැකිනම් එවන් අපේක්ෂකයෙක් පොල් පිත්තකින් වුවද කපා ගත හැකි විය යුතුය.

ලංකාවේ දේශපාලනය සැළකීමේදී දේශපාලනය යන පිරිසිදු වචනය පාවිච්චි කිරීම එම වචනයට පවා අගෞරවයකි. තවද මිනිසුන්ගේ, විෂෙශයෙන්ම කාන්තාවන්ගේ ගෞරවය ගැන මෙම විකටයන් සිතිය යුතුය. මෙම අපේක්ෂකයන් මෙවන් විහිළු සැපයීම සදහා වියදම් කරන මුදල පමණක් වියදම් කිරීමෙන් නගරයක් හෝ පළාතක් යම් තරමකට සංවර්ධනය කළ හැකිය. මන්ද ඔවුන් කරන වියදම් දහස් ගණනකට හෝ ලක්ෂයකට දෙකකට සීමා නොවන බැවිනි. මෙහිදී විහිළු යනුවෙන් මා විසින් අදහස් කරන්නේ මැතිවරණ පචාරක කටයුතු නොව සත්‍ය වශයෙන්ම විහිළු වලට බව කිව යුතුය. මන්ද මෙම විකාර වලින් මා සිතන අයුරින් කිසිදු මැතිවරණ පචාරයක් සිදු නොවන අතර තව තවත් ජනතාවට ඔවුන්ව එපා වීමක් පමණක් සිදු වේ.

මෙවන් ආදර්ශ සැපයීමෙන් අනාගත ‍ෙද්ශපාලන පරපුරට කුමක් සිදුවේද? ලංකාවේ දේශපාලන ව්‍යාපාරය කවදා ගොඩ ඒද? කවදා අපට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මැතිවරණයක් බලාගත හැකි වේද? අවසාන වශයෙන් මෙහෙම ගියොත් ලංකාවට කුමක් සිදු වෙයිද?


Nuwan on August 24th, 2009

මම මේ පෝස්ට් එක ලියන්නේ කාගෙවත් වැරදි හොයන්නවත් කාටවත් බනින්නවත් කාටවත් පහරක් විදියටවත් නෙවෙයි කියන එක මුලින්ම කියන්න ඕන.

Google Adsense කියන්නේ ලෝකයේ තියෙන ගොඩාක්ම දියුණු Targeted Advertiesment system එකක්. මේක හරියට පාවිච්චි කරොත් ගොඩාක් ලොකු ආදායමක් ලබන්න පුළුවන් බව ඇත්ත. මම ඒක අත්දැකීමෙන්ම දන්නවා.

නමුත් ගැටළුව ඒක නෙවෙයි. ලංකාවේ දැන් වෙන දේ මේ සම්බන්ධව එච්චර හොද නැහැ.

Traffic එකක් තියෙන සයිට් එකකට හරි blog එකකට හරි මේ ads දැම්මොත් අපි හිතනවට වඩා හොද ආදායමක් තියෙනවා. හැබැයි සයිට් එකක් තියෙන නිසා ads දානවා කියන එකයි ads දාන්න ඕන නිසා සයිට් එකක් කරනවා කියන එකයි සම්පූර්ණයෙන්ම වෙනස්.

Google සමාගමේ පරමාර්ථය අපි මුලින්ම හිතන්න ඕන. ඒ‍කේ තියනවා adsensse සහ adwords කියලා දෙකක්. adwords කියලා කියන්නේ මේ කවුරැත් දන්න adsense වල අනිත් පැත්ත. අපේ සයිට් වල adsense කියලා google එකෙන් display කරන්නේ adwords විදියට තවත් පිටස්තර සමාගමක් google සමාගමට ලබාදෙන advertiesment එකක්. මෙතනදි ඒ 3 වන සමාගමේ පරමාර්ථය වෙන්නේ තමන්ගේ දැන්වීම google හරහා ලෝකය පුරා තිබෙන හෝ තමන් තෝරා දෙනු ලබන වෙබ් අඩවි තුළ පළ කිරීම. ඔවුන් නිතරම බලන්නේ ගොඩාක් අය ගැවසෙන වෙබ් අඩවියක් target කරන්න. මොකද ඔවුන්ගේ දැන්වීමට හා ඔවුන් වියදම් කරන මුදලට උපරිම පතිචාර ලැබෙන්නේ එහෙම වුණොත් විතරයි.

මෙතනදි google සමාගම බලන්නේ තමන්ගේ සේවාදායකයාගේ පරමාර්ථය උපරිම ලෙස ඉටු කරන්න. මොකද google සමාගමේ පැවැත්ම තියෙන්නේත් ඒ දේ උපරිම ලෙස සිදු වුණොත් විතරක් නිසා.

ඉතින් ලංකාවේ වගේ (අනිත් රටවල් වලත් මේ දේ වෙනවා ඇති. නමුත් ලංකාවේ තරම් මේක මේ විදියට වෙන රටක් තවත් ඇති කියලා මම හිතන්නේ නැහැ.) හැමෝම මොකක්හරි සයිට් එකක් හදලා මොකක් හරි බ්ලොග් එකක් හදලා ads දාලා ඒවා තමන්ම click කරන එකෙන් හරි නැත්නම් යාළුවොන්ට කියලා click කරන එකෙන් හරි කලින් කියපු සමාගම් දෙකේම බලාපොරොත්තු ඉටුවෙන්නේ නැහැ. අනිත් එක google සමාගම අද ඊයේ වෙබ් කරන්න පටන් ගත්ත සමාගමක් නිසාත් ඒ සමාගමට මීට කලින් අපට වඩා දන්න ලොකු ලොකු මිනිස්සු මේ වගේ වැඩ කරන්න ඇති නිසාත් google සමාගමේ security එක අපට හිතාගන්න බැරි විදියට දියුණුයි. ඒ නිසා අපි Google සමාගම අන්දන්න හිතනකොටත් Google සමාගම ඒක දැනගෙන ඉවරයි. නැත්නම් මේ කට්ටිය මේ සමාගම රවට්ටන්න හදන විදියට ඒක රැවටුණානම් මේ වෙනකොට google එක හොයන්නවත් නැහැ.

අපේ කට්ටිය කියනවා router එක restart කරලා IP address එක වෙනස් කරගත්තාම google එක රැව‍ටෙනවා කියලා. ඒත් google සමාගම එච්චර මෝඩ නැහැ කියන එක අපි තේරැම් ගන්න ඕන. google එකෙන් අපේ හොර අල්ලන්න ඊට වඩා ගොඩාක් දියුණු දේවල් පාවිච්චි කරනවා. IP address එකයි cookies කියන්නේ බොහෝම සරල දේවල්.

කවුරැත් දන්නවා ඇති දැන් google adsense පන්ති පවත්වනවා සමහර අය. online උගන්වන තැන් පවා තියෙනවා. මේවා google එකෙන් තවම දන්නේ නැතුව ඇති මම හිතන්නේ. අනිත් දේ මේ පන්ති වල උගන්වන්නේ සාධාරණ විදියට මේකෙන් හම්බ කරන හැටි නෙවෙයි. පුළුවන් තරම් අපිම click කරලා google එක රවට්ටන විදිය තමයි උගන්වන්නේ. එයාලා කොහොම හරි ගෙන්නවගත්ත චෙක් එකක් පෙන්නලා ඉගෙන ගන්න එන අය රවට්ටනවා. ඊට පස්සේ සල්ලි ගරාගන්නවා.

ඒ නිසා මම කියන්නේ මුලින් සයිට් එකක් හරි blog එකක් හරි කරලා ඒකේ මිනිස්සු ගැවසෙන විදියට දියුණු කරගන්න. ඊට පස්සේ google එකෙන් අපි හිතන්නේ නැති තරම් සල්ලි ගලාගෙන එයි. නැතුව මේ තියෙන ජාවාරම් වලට අහුවෙන්න එපා. මේකෙන් වෙන්නේ ඉස්සරහදි google එකට ලංකාව blacklist වෙන එක. එතකොට සාධාරණ විදියට මේක කරන කෙනාටත් ඒක නැති වෙනවා.

මේකට තියෙන පතිචාර බලලා තව පෝස්ට් එකක් ලියනවද කියලා මම තීරණය කරනවා. තාම එච්චර දුර හිතුවේ නැහැ.

නුවන් චින්තන,
Admin, GalleZone.lk / Music.lk

Nuwan on May 21st, 2009

මම SLT ADSL පාවිච්චි කරන්නේ ගාල්ලට ADSL ආපු දවස් වල ඉදලාමයි. ඒ දවස් වල ඉදලා 512 Home  පැකේජය තමයි පාවිච්චි කරේ. මේ ළගදි අළුතෙන් පැකේජ් ගොඩාක් දාපු වෙලාවේ අපේ පැකේජ් එක 1MB වලට මාරැ කරා. එතනදි පිනට වගේ තව වැඩක් වුණා. ඒ තමයි අපේ පැකේජ් එක වැරදිලා 4MB වලට මාරැ කරපු එක.
පැකේජ් එකේ sections 3ක් තියෙනවාලු. Admin, Billing, Technical. එතනින් technical එකට විතරයි වැරදිලා තියෙන්නේ. ඒ නිසා බිල හැදිලා තියෙන්නේ 1mb පැකේජ් එකට. හැබැයි මාරැ කරපු දවනේ ඉදලා දවල්ට upload ගොඩාක්ම slow. අපි complaint කරාම එයාලා කියනවා මේක අළුත් පැකේජස් වල අවුලක් කියලා. අපි ඇහුවාම කිවුවා ඒක කවදා හදයිද කියලා කියන්න බැරිලු. ඒක common issue එකක්ලු. දැන් අප‍රාදේ අපේ පිනට වෙච්ච වැරැද්දත් අහු වෙලා ආයිමත් අපේ තියෙන්න ඕන හරි පැකේජ් එකට මාරැ කරලා. එතකොට අපි බිල් ගෙවනවා විතරයි. මේක හදන්න තව මාස දෙක තුනක් ගියත් අපි කට වහගෙන ඉන්න ඕන කියලාද මෙයාලා කියන්නේ?

බලාගෙන ගියාම දැන් ඔක්කොම service providers ලා එකයි වගේ.

කාට කියන්නද මේ අවනඩුව?

දශක තුනකට වැඩි කාලයක් අපෙග් මාතෘ භූමිය වෙළාගෙන සිටි රැදුරැ තස්තවාදය මෙරටින් තුරන් කර රට එක්සේසත් කරන්නට උරදුන් තිවිධ හමුදාවේ, ශීලංකා පොලීසියේ, සිවිල් ආරක්ෂක බලකායේ හා මෙකී නොකී ආරක්ෂක අංශ වල වීරෝදාර විරැවන්ටත් රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීරයන්ටත් මෙම උදාර කාර්යය සදහා නායකත්වය සැපයූ සේනාධිනායක අතිගරැ ජනාධිපති තුමන්ටත් ආරක්ෂක අංශ පුධානීන්ටත් අපගේ උත්තමාචාරය මෙසේ පුද කිරීමට කැමැත්තෙමු.

අද අප හට ලැබී තිබෙන මෙම උදාර වූ නිදහස රැක ගැනීම අපගේ ඒකායන පරමාර්ථය විය යුතුය. අප ආර්ථිකය, සංස්කෘතිය, ආගම දහම මෙන්ම සහජීවනයද දියුණු කරගැනීමේ වගකීමද යුතුකමද අප සතුය. අප නායකත්වයට ඒ සදහා සහයෝගය දීමද අපගේ යුතුකම මෙන්ම වගකීමද වන්නේය.

ඒ සදහා දැනට අප රට තුළ ජීවත්වන එකම ජාතියක් වූ ශී ලාංකික ජාතියට ශක්තිය ධෛර්යය ලැබේවා යන්න අපගේ පැතුම වන්නේය.